මාඳුරුඔය ජලාශය මත 100MW පාවෙන සූර්ය බලාගාරයේ ගිවිසුම කැනඩාව සමග අත්සන් තැබේ.

Government Signed the agreement with Canadian counterpart for the construction of Floating solar farm of size 100MW at Maduru Oya

No Comments

මාඳුරුඔය ජලාශයේ මෙගා වොට් 100ක පාවෙන සූර්ය බලාගාරයක් ඉදිකිරීම සඳහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය සහ Canadian Commercial Corporation ආයතනය අතර සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ සිදු විය.

බලශක්ති අර්බුදයට විසඳුමක් හා අඩු වියදම් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව කෙරෙහි යොමුවීමේ පියවරක් වශයෙන් මහවැලි ආර්ථික කලාපයන්ට අයත් ජලාශ මත පාවෙන සූර්ය බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙසජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාවට පසුගියදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.

ඒ අනුව ප‍්‍රදේශ කිහිපයක ඉදිකෙරෙන මෙම පාවෙන සූර්ය බලාගාර ව්‍යාපෘති මගින් 2030 වසර වන විට මෙරට විදුලිබල අවශ්‍යතාවයෙන් 50‍%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් සපුරා ගැනීමට අපේක්ෂා කෙරේ.

එහි පළමු ව්‍යාපෘතිය මහවැලි කලාපයට අයත් මාදුරුඔය ජලාශය කේන්ද්‍රකර ගනිමින් කි‍්‍රයාත්මක කෙරෙන අතර සූර්ය පැනල හා විදුලියගබඩා කළ හැකි ව්ද්‍යුත් කෝෂ යොදාගෙන සූර්ය බලශක්තිය ගබඩා කරන ව්‍යාපෘතියක් ලෙස කැනේඩියානු සෝලර් ආයතනයේ සහයෝගයෙන්ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවේ. අදාළ ව්‍යාපෘතිය සඳහා ජලාශයේ අක්කර පන්සීයකට ආසන්න ඉඩ ප‍්‍රමාණයක් යොදා ගැනිමට නියමිත අතර, එම ප‍්‍රමාණය ජලාශයේ සම්පූර්ණවපසරියෙන් 4%කටත් වඩා අඩු ප‍්‍රමාණයකි.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීමට නියමිත අතර, ප‍්‍රථම මෙගා වොට් 10 මෙම වසරේ නොවැම්බර්මාසය අවසන් වන විට සම්පූර්ණ කිරීමටත්, 2020 සැප්තැම්බර් අවසන් වන විට මෙගා වොට් 100ක සම්පූර්ණ ධාරිතාව ඉදිකර අවසන් කිරීමටත්යෝජිතය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සූරේන් බටගොඩ මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂ Yvonne Chin මහත්මිය සහයෝගිතා ගිවිසුමට අත්සන් තබන ලදී.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් ද, ශ‍්‍රී ලංකාවේ කැනඩා තානාපති David McKinnon මහතා සහ Canadian Commercial Corporation ආයතනයේ නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Credits : Ru News